අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය

9:15 AM


ස්වභාව ධර්මයේ දායාද හා මිනිසුන්ගේ කුසලතා එක්තැන් වූ විට මතුවන්නේ විශ්වකර්ම නිර්මාණයන්ය. ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ද එවන් වූ සුන්දර නිර්මාණයකි. “ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය” නමින්  ජාතියට දායාද කළ  ඒ මහඟු සම්පතේ නිර්මාතෘවරයා අන් කිසිවකු නොව වත්මන් තැපැල්, විදුලි සංදේශ හා ග‍්‍රාමීය ආර්ථික ප‍්‍රවර්ධන ඇමැති දි.මු. ජයරත්න මහතාය.අම්බුළුවාව කන්දට දෙපාර්ශ්වයකින් ළඟාවිය හැක. ගම්පොළ හෙම්මාතගම මාර්ගයේ කි.මී. 3 ක් පමණ ගිය විට මෙම කන්දට ප‍්‍රවේශ වන මාර්ගය හමුවන අතර, කොළඹ - මහනුවර මාර්ගයේ මාවනැල්ලෙන් හෙම්මාතගමට පැමිණ හෙම්මාතගම - ගම්පොළ මාර්ගයෙන් ද මෙම ස්ථානයට ප‍්‍රවේශ විය හැක.අද අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය බැලු බැල්මට රාජකීය උද්‍යානයක් සේ පෙනුණ ද, එය හෙළයේ මහා සංස්කෘතික කැඩපත ලෙස හැඳින්වීම වඩාත් නිවැරැදිය. මෙහි පිවිසුම් දොරටුව මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකර ඇත. මෙම තොරණ මහල් තුනකින් යුක්ත වන අතර, අපූරු සුන්දරත්වයකින් හෙබි මෙහි නිමැවුම් අපගේ පෙ‍්‍රෟඪ ඉතිහාසය හා සංස්කෘතිය මැනැවින් පෙන්නුම් කරයි. පිවිසුම් දොරටුවෙන් ඇතුළු වී මදක් ඔබ්බට ගමන් කරන විට ගලා යන සිසිල් දිය දහරාවත් සමඟ මුලින් ම හමුවන්නේ අපනයන බෝග වගා කළ අලංකාර භූමි භාගයකි. ගම්මිරිස්, කෝපි, එනසාල්, කුරුඳු වැනි බෝග සරුවට වැඩී ඇති අයුරු මෙහිදී දැකගත හැකිය.ස්වභාවික වනාන්තරය මැදින් වැටී ඇති මාර්ගයේ ගමන් කරන්නකුට දැනෙන සිසිලස හා සුවය අපූරුය. මෙම මාර්ගයේ අතරමඟ පිහිටා ඇති පොලිස් මුරපොළ පසුකළ විට හමුවන්නේ අම්බුළුවාව ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවයි. දෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙහි පහත මාලයේ මුළුතැන් ගෙයක් සහිත සියලු පහසුකම්වලින් සමන්විත වූ නිදන කාමර 17 කි. ඉහළ මාලයේ එකවර 500 දෙනකුට අසුන් ගත හැකි සම්මන්ත‍්‍රණ ශාලාවය. පහත මාලයේ කොටසක අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ආකෘතිය ප‍්‍රදර්ශනය කෙරෙන අතර, කුඩා කාමරයක පුස්තකාලයක් ද ඉදිකර ඇත්තේය.සම්මන්ත‍්‍රණ ශාලාව පසුකර දැවැන්ත කළුගල් පර්වතය හරහා ඉදිකර ඇති මාර්ගයේ ඉදිරියට ගමන්කරද්දී මුලින් ම හමුවන්නේ ශෛලමය උද්‍යානයකි. ස්වභාවික ගල්පර අතරේ වගාකර ඇති විවිධ මාදිලියේ මල් වර්ගවලින් ශෛලමය උද්‍යානය ඉතාමත් අලංකාරව පවතී. මෙහි විසිතුරු පැළෑටි වගා රටාව තුළින් සුන්දරත්වයක් පිළිබිඹු කරන අතර, මේ ප‍්‍රදේශයේ ඉදිකර ඇති කුඩා ජලාශයන් දෙක ද ජෛව විවිධත්ව සංකීර්ණයේ වටිනාකම මතුකර පෙන්වයි. විශේෂයෙන් මේ ප‍්‍රදේශයේ ඉදිකිරීම්වලදී මතුවූ විශාල ගල් පර්වත මහා ගල් කුලුනු ලෙස තැන්පත් කර ඇති දර්ශනය ද ඉතාමත් අලංකාරය.උද්‍යානය අසලින් වම්පසට වැටී ඇති මාර්ගයේ ගමන් කළ විට හමුවන්නේ ගොවිජන පුහුණු මධ්‍යස්ථානයයි. එය ඉදිරිපිටි භූමියේ අලංකාර ලෙස ඉදිකළ වතුර මලක් ද, ඒ අවට භූමිය විසිතුරු පැළෑටි වර්ග වගා කොට අලංකාර කර ඇත. විසිතුරු පැළෑටි වර්ග මෙන්ම ලෝකයේ ඇති තාල වර්ගයේ එකතුවක් ද මෙහිදී දැකගත හැකිය. අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ප‍්‍රධාන සංචාරක මන්දිරය ඉදිකර ඇත්තේ ද මෙම ප‍්‍රදේශයේමය.ශෛලමය උද්‍යානය අසලින් දකුණට හැරී ගමන් කරන විට හමුවන්නේ කඳු මුදුනෙහි පිහිටි ගොවිජන චෛත්‍යයයි. මෙම චෛත්‍යයට ප‍්‍රවේශ වීමේ මාර්ග තුනකි. එක් ප‍්‍රවේශ මාර්ගයක් පිහිටා ඇත්තේ උමගක් ඔස්සේය. මෙම උමගෙහි දෙපස බිත්තිවල සිතුවම් ඇඳීමට අපේක්ෂිතය. දෙවැනි ප‍්‍රවේශ මාර්ගය ජය ශී‍්‍ර මහා බෝධි අංකුරය රෝපණය කර ඇති ස්ථානය හරහා වැටී ඇත. තෙවැන්න ප‍්‍රධාන මාර්ගයෙන් ආරම්භ වේ. මෙහි ඉදිකර ඇති චෛත්‍යය වැනි චෛත්‍යයක් ලෝකයේ කිසිම බෞද්ධ රටක නොමැති බවත්, තමා එවකට කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයා වශයෙන් කෘෂිකර්මය පදනම් කරගෙන “ගොවිජන සෑය” නමින් මෙය නම්කර ඇති බවත් එහි නිර්මාතෘ අමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.මෙම චෛත්‍යයේ මුල් කොටස වී බිස්සක හැඩයෙන් නිර්මාණය කර ඇති අතර, ගර්භය වට්ටක්කා ගෙඩියක හැඩයෙන්ද, ඉහළ කොටස කොකෝවා ගෙඩියක හැඩයෙන්ද යුක්ත වේ. අවසාන කොටස චූඩා මාණික්‍යයයි. මෙය අප රටේ වී ගොවිතැන, එළවළු හා පලතුරු වගාව සංකේතවත් කරයි.උසින් අඩි 243 ක් පමණ වන මෙම චෛත්‍යයේ කොත්වහන්සේගේ උස ප‍්‍රමාණය අඩි 17 1/2 කි. චෛත්‍යයේ ගර්භය තුළ එකවර 500 කට අධික පිරිසකට රැඳී සිටිය හැකි අතර, ගර්භය තුළ පඩිපෙළ දිගේ ඉහළට ගමන් කළ හැකි අයුරින් නිර්මාණය කර ඇත. රාති‍්‍ර කාලයේදී විදුලි බුබුළුවලින් අලෝකවත් වූ මෙම සෑය ඈත සිට බලන්නකුට දිස්වන්නේ අහසේ පාවෙන කේතුවක් ලෙසිනි. ලෝකයේ බෞද්ධ රටවල දාගැබ් වර්ග 13 ක් තිබෙන අතර, 14 වන දාගැබ් විශේෂය වශයෙන් ගොවිජන චෛත්‍යය දාගැබ් ඉතිහාසයට එක්වන බව එහි නිර්මාතෘවරයා පවසයි.ගොවිජන චෛත්‍යයට ඔබ්බෙන් පිහිටි විවෘත දෙමහල් ගොඩනැගිල්ල නැරැඹුම් මැදිරියයි. දිග මීටර් 20 ක් හා පළල මීටර් 15 කි. ඉහළ මාලයේ මහනුවර ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිමවූ වහලක් ඇත. මෙහි දුරදක්න හා කඳු මාපක උපකරණ සවිකර ඇති අතර, එක මහලක එකවර 200 ක පමණ පිරිසකට ගැවැසිය හැකිය. නැරැඹුම් මැදිරියේ සිට අවට කඳු 40 කට අධික සංඛ්‍යාවක සිරි නැරැඹිය හැකිය.බුරුමයට හා තායිලන්තයට වැඩම කරවන ලද ජය ශී‍්‍ර මහා බෝධි අංකුර දෙකකින් එකක් එහි රෝපණය නොකර ආපසු ශී‍්‍ර ලංකාවට වැඩම කරවා ඇත. එම අංකුරය මෙම චෛත්‍යය අබියස තැනිතලා භූමියේ රෝපණය කර මේ වන විට මැනැවින් වැඩී ඇත. මේ අතර දර්ශනීය බුදු මැඳුරක් ඉදිකර ඇති අතර, අඩි 18 ක් පොළොව යට උවසු උවැසියන් 500 කට සහභාගි විය හැකි පරිදි භාවනා මධ්‍යස්ථානයක් ද ඉදිකර ඇත. එමෙන් ම ජාති ආගම් භේදයෙන් තොරව හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් හා කි‍්‍රස්තියානි දෙව් මැඳුරක් ද ඉතාමත් දර්ශනීයාකාරයෙන් ඉදිකර ඇත්තේය. මේ අතර ලංකාවේ කිසිදු ප‍්‍රදේශයක නොමැති කෘෂිකර්මය පදනම් කරගත් සඳකඩ පහනක් ද කළුගලින් නිමවා ස්ථාපිත කර ඇත.අම්බුළුවාව කඳු මුදුන් කොටසේ වැව් ති‍්‍රත්වයක් වේ. කඳු පාමුල දක්වාම ජල අවශ්‍යතා සපුරා ගැනීම අරමුණු කොට ගෙන එම වැව් ඉදි කළා සේ පෙනේ. ප‍්‍රධාන හා විශාලම වැව ඉහළින් පිහිටා ඇති අතර, වැව් නිර්මාණය කිරීමෙන් ප‍්‍රදේශයේ ජෛව විවිධත්වය නංවාලීමට ජලය උපයෝගී කරගැනීමටත් සියලු ජල අවශ්‍යතාවන් සපුරාගැනීමටත් පියවර ගෙන ඇත. මෙම සංකීර්ණයේ විශාල වැව් 2 ක් හා පොකුණු 18 ක් තිබෙන අතර, එය සංකීර්ණයේ වෙසෙන වන සතුන්ටද ඉමහත් පිළිසරණක් වී ඇත.

You Might Also Like

0 comments